නීලෝදකය

Author: Asith /

මැණිකක් සොරාගෙන පළායන සහෝදරයන් තුන්දෙනෙක් වටා ගෙතුණු කුඩා නවකතාවකි " නීලෝදකය ".මේකේ මුල් පොත ක්‍රිස්ටෝපර් රෙන් කියන නවකතා කරුවාගේ "බෝ ජෙස්ට් " කියන නවකතාවලු...එක ටිකක් දිග නවකතාවක් හින්ද ටිකක් සරල කරලා අමුතුවෙන්ම සකස් කරලා නීලෝදකය යනුවෙන් ප්‍රකාශයට පත් කලේ කියල  සිරිල් සී. පෙරේරා මැතිතුමා පොතේ පෙරවදනනින් ප්‍රකාශ කරනවා..කොහෝම උනත් මේ පොත එක හුස්මට කියවල උපරිම අශ්වාදයක් ලැබුව පොතක් විදිහට හදුන්වන්න පුළුවන්..

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මෙහෙමයි.."නීලෝදකය" නම් මිල කල නොහැකි වටිනාකමකින් යුත් අගනා මැණිකක් ඉන්දියාවේ සිදුවෙච්චි මහා සටනකින් පස්සේ  එංගලන්තයේ ජීවත් වෙන පැට්‍රිෂියා බ්‍රාන්ඩන් නැමති ආර්යාවට අයිති වෙනවා...දරුවන් නොමැති පැට්‍රිෂියා බ්‍රාන්ඩන් තම සැමියා සමග ජීවත් වෙන්නේ තමන්ගේ මියගිය සහෝදරියගේ පුතුන් තිදෙනා හදා වඩා ගනිමින්...ඉතින් දවසක් එක පාරටම මේ නීලෝදකය කියන අගනා මැණික අතුරුදහන් වෙනවා..ඇත්තටම මේ මැණික අතුරුදහන් කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි...පැට්‍රිෂියා බ්‍රාන්ඩන් තමන්ගේ දරුවන් මෙන් හදාවඩා ගත් ඒ සහෝදරයන් තුන්දෙනා...මැණිකත් එක්කම ප්‍රංශයට පලායන ඔවුන් ,විරෝධාර ඉතිහාසයක් තියෙන ප්‍රංශ විදේශීය හමුදාවට බැදෙනවා...ප්‍රංශ විදේශීය හමුදාව ගැන පොඩ්ඩක් කිව්වොත් කතාව හොදටම තේරෙනවා...මේ හමුදාව 1831 දී ප්‍රංශය විසින් පිහිටෙව්වේ තම යටත් විජිත වෙනත් ජාතීන්ගෙන් ආරක්ෂා කරගන්නලු...ප්‍රංශ ජාතිකයන්ට පමණක් සිමා නොවූණු මේ හමුදාවේ වැඩි හරියක් සේවය කරලා තියෙන්නේ විවිධ රටවලින් නීතියේ ග්‍රහණයෙන් පලා යන මිනීමරුවන් ,පල් හොරුන් ,අපරාධකරුවන් වගේ කට්ටියලු..මේ කට්ටිය ආසවෙන් මේ හමුදාවට බැදෙන හේතුව තමා අවුරුදු පහක සේවයෙන් පස්සේ මේ අයට ප්‍රංශ පුරවැසිකම ලැබෙන එක වගේම නීතිය විසින් ඔවුන්ව අතහැර දැමු අය විදිහටද සලකන එක...ඉතින් මේ ප්‍රංශ විදේශීය හමුදාවට බැදෙන මේ සහෝදරයන් තුන්දෙනා කෙලින්ම යැවෙන්නේ අප්‍රිකාවට...එතැනින් කාන්තාර ඔස්සේ අරාබියට ලගා වෙන මේ තුන්දෙනා වීර වික්‍රමාන්විත, ත්‍රාසජනක සිදුවීම් රාශියකට මුහුණ දෙනවා..අනික මේ හමුදාවේ ඉන්නේත් නාහෙට අහන්නේ නැති කට්ටියනේ...එක හින්ද හමුදාව ඇතුලෙත් කැරළි,රණ්ඩු සරුවල් ,යටිකුට්ටු වැඩ ඉවරයක් නෑ...මේ අතරේ හමුදාවේ අයටත් ආරංචි වෙනවා මේ තුන්දෙනා සන්තකයේ වටිනා කියන මැණිකක් තියනව කියල...ඉතින් මේ මැණික ලබා ගන්න හමුදාව ඇතුලේ ලොකු කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා...ඒ කුමන්ත්‍රණය දියත් වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දී කාන්තාරයේ ඉන්න අරාබින්ගෙන් දරුණු ප්‍රහාරයකුත් එල්ල වෙනවා...එක කොච්චර දරුණුද කිව්වොත් හමුදා සේනාංකයේ සියලුම දෙනා මියයනවා...හැබැයි අර තුන්දෙනාගෙන් බාලම සහෝදරයා විතරක් ඉතුරු වෙනවා...එයා ඉතුරු වෙන්නේ තුන් සොහුයුරන්ගේ ජීවිතේ වෙනස් කරපු පැට්‍රිෂියා නැන්දා භීතියට පත් කරපු නීලෝදකය නම් මැණිකත් එක්ක බැදිච්ච ලොකු රහසක් ඉතුරු කරලා...ඒ රහස දැන ගන්නනම්  පොත කියවන්නම වෙනවා....

නත්තල් ගීතය

Author: Asith /

මීට සියවස් එකහමාරකට පමණ පෙර චාල්ස් ඩිකන්ස් මේ කුඩා නවකතාව රචනා කලේ නත්තල් කාලය තුල මිනිසුන්ගේ දයාව, කරුණාව ,සාමය ,හොද හිත ආදී උතුම් ගුණාංග ඇති කොට මිනිසුන් හේ සිත් දානය කෙරෙහි යොමු කරවීම පිණිසය..දානය හැම ආගමක් විසින්ම උතුම් කොට සලකනු ලබන පින්කමකි..නත්තල් ගීතයෙන් අපට දක්නට ලැබෙන්නේ " එබෙනිසා ස්ක්රූජ් " නමැති මසුරු ජීවිතයක් ගතකල ධනපතියෙක් නත්තල් දිනට පෙර දින රෑ පැමිණි අවතාර තුනක් විසින් පෙන්නා දෙන ලද තම මසුරු ජීවිතයේ යථාර්තය සියැසින් දැක එක රැයෙන් ඒ මසුරුමල නසා දානපතියෙක් වීමේ කතාවයි..මේ හා සමාන කතාවක් ජාතක කතාවල එන "මච්ජරිය කෝසිය" සිටාණන්ගේ කතාවෙහි දක්නට ලැබෙයි..එබෙනිසා ස්ක්රූජ් වඩා මසුරෙකු වු මච්ජරිය කෝසිය සිටාණන් තණ පතක තෙල් ගා එයින් තෙල් බිදුවක් අනුන්ට දෙනවා තබා ඔහුත් අනුභව නොකරන තරමේ මසුරෙකි..බුදුන් වහන්සේ ඔහුවෙත මුගලන් මහ තෙරණුන් වහන්සේ යවා  ඔහු දෙවුරම් වෙහෙරට කැදවා ඔහුගේ මසුරුමල නසා සෝවාන් ඵලයේ පිහිටුවා වදාළ සේක..
මච්ජරිය කෝසිය සිටාණන් ගේ කතාව චාල්ස් ඩිකන්ස්ගේ නත්තල් ගීතයට වඩා අවුරුදු දෙදහස් පන්සියයක් පමණ පැරණිය..ජාතක කතා බුදුන් දවස උතුරු දඹදිව සමාජය හා ජන ජීවිතය පසුබිම් කොට රචිත කතා වන අතර නත්තල් ගීතය 19 වන සියවස මැද භාගයේ එංගලන්ත සමාජය හා ජනජීවිතය පසුබිම් කොට රචිත නවකතාවකි..අවුරුදු දෙදහස් පන්සියයක් පමණ දීර්ඝ කාලයකින් වෙන්වූ මේ කතා දෙක ශිල්ප ධර්ම කතා ශෛලිය රීතිය ආදී විශයෙන් වෙනස් වුවද සංකල්පයෙන් ජීවිතය පිළිබද යථාර්තයෙන් හා අත්භූත රසයෙන් සමාන වෙයි..ජේෂ්ඨ පරිවර්තක සිරිල් සී. පෙරේරා මැතිදුන් විසින් පරිවර්තිත මේ අපුරු කුඩා නවකතාව මනුෂ්‍යන් තුල ස්වකීය වර්ගයා කෙරෙහි දයාව,කරුණාව වර්ධනය කිරීමට අනුබල දෙන උසස් ආකාරයේ නිර්මාණයකි..
"" අවතාරයක් වැනි මේ කුඩා පොතින් මම අවතාරයක් වැනි අදහසක් මතු කිරීමට වැයම් කරමි..මෙමෙ අදහස නිසා පාඨකයන් තම තමන් සමග හෝ එකිනෙකා සමග හෝ නත්තල් කාලය සමග හෝ ම සමග හෝ අමනාප නොවෙනු ඇතැයි මම විශ්වාස කරමි..
මෙමෙ අදහස ඔවුන්ගේ නිවෙස්වල ඉතා ප්‍රසන්න ලෙස හොල්මන් කරත්වා..එසේම මෙමෙ හොල්මන අල්ලා නතර කර ගැනීමට කිසිවෙක් අදහස් නොකරත්වා..
 - මීට අවංක හිතමිත්‍ර හා සේවක චාල්ස් ඩිකන්ස් ""
නත්තල් ගීතය - චාල්ස් ඩිකන්ස් ( A Christmas Carol - Charles Dickens )


ලැබීම - නොලැබීම

Author: Asith /

ලෝකයේ පියස්ස වන කිරිගිස්ථානයේ ‘පාමිර් තුන්ග‘ වෙත අප කැදවාගෙන යන කීර්තිමත් ලේඛක චින්ගීස් අයිත්මාතෝව්ගේ To Have and to Lose නම් මේ අපුරු කෙටි නවකතාව මගින් අපට මුනගස්වන්නේ ගෙයක් දොරක් මවක පියකු නෑදෑයකු නොමැති " ඉලියාස් " නම් තරුණ ලොරි රියදුරෙක්..ඔහුගේ ජීවිතයේ ඉරණම වෙනස් කරන " අසෙල් " නම් සුන්දර තරුණියත් පසුව ඔවුන්ගේ දරුවාත් වටා ගෙතුන ඉතා හැගුම්බර නවකතාවකි.." ලැබීම - නොලැබීම "

"" පුතා යැයි අමතන්නට මා බිය වන මගේ පුතු ලගින්ම හිදගෙන ,මපුතු වෙනත් මිනිහෙකුට තාත්තා යයි අමතනු අසන්නට සිදුවීම , මට පහසු කාරියක් නොවීය..අසෙල් ,මගේ ආදරණීය අසෙල් මා ළගින්ම ඉදගෙනය..මට ඇගේ දෑස දෙස කෙළින් බලන්නට අයිතියක් ඇත්තේ නැත..එද , ඉතා අසීරුය..ඇයට මෙහි එන්ට සිදු වුයේ කෙසේද ? ඇය මේ මිනිසා සමග ආදරයෙන් විවාහ වුණිද? මා දැන සිටි වගක ලාංඡනයක්වත් ඇය පළ නොකළ අතර, ඇය මා කෙරෙහි පැවැත්තේ, සම්පුර්ණ ආගන්තුක ආකාරයෙනි..ඉදින් මා ඇයගෙන් කිසිවක් අසා දැන ගන්නේ කෙසේද? ඇය මට ඒ තරම්ම වෛර කරන්නීද ? අනෙක් අතට බයිටෙමිර් තුළ මා ගැන සැක සංකාවක් නැතිද ? එදා මා ඔහුගේ වාහනය ඇදගෙන ගිය සිද්ධිය , ඔහු නිකමටවත් ඔහු මෙහිදී මතක් නොකළේ ඇයි ? ""
ලැබීම - නොලැබීම ( To Have and to Lose by Chingiz Aitmatov )
පරිවර්තනය : ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා

සුද්දීලාගේ කතාව

Author: Asith /

එක හුස්මට කියවන් ගිය රසවත් පොතක් තමයි සයිමන් නවගත්තේගම මහත්මයාගේ " සුද්දීලාගේ කතාව ". අපි අතර ඉන්න බොහෝ දෙනක් මේ පොත කියවල ඇති කියල විශ්වාස කරනවා.
රොමියෙල් අයි ආර් සී කාරයෙකි.සුද්දී සිදාදියෙන් ගමට ආ ගැහැණියකි.සිරිමෙවන් මුදලාලි පහත රටින් පැමිණ වෙළද ව්‍යාපාරයක් අරබයි.නිදන් රකිනා බහිරවයෙකු මෙන් ආරච්ච්ල තම පරවේණි ආරක්ෂා කරගෙන සිටි.පාර්ලිමේන්තුවේ සිට අද ගොවි පනත සැඩ සුළගක් මෙන් ගම දිහාට හමා ආ විට මේ දෙතුන්දෙනා මාරාන්තික කායික මානසික අරගලයකට පැටලෙති.ඔවුන්ට මද සහනයක් ලැබෙන්නේ උතුරා යන කාම තෘෂ්ණාවෙන් තෙත්වුණු සුද්දිගේ පහසින් පමණි.
මේ ඔවුන්ගේ කතාවයි....
සුද්දීලාගේ කතාව
සයිමන් නවගත්තේගම
මිල රු 500/=
ප්‍රථම මුද්‍රණය 1978
පිටු 394
සුරස පොතක්

වනපෙත පතිනිය

Author: Asith /

පරිසරය සුරැකීම පිළිබඳව අගනා පණිවිඩයක් ගෙනෙන කෘතියකි. ගහට කොළට මලට සතා සීපාවන්ට හා පරිසරයට ආදරය කරන උයන්පල්ලියකගේ පාපොච්චාරණයක් ලෙසින් ගලා යන සංවේදී  කතාවක්...
වනපෙත පතිනිය
කර්තෘ : සදා ලාලිත් රණසිංහ
මිල : රු. 590 /=
ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ
පිටු : 411


තිත්ත කෝපි

Author: Asith /

එදා මෙදා තුර කියවූ ලස්සනම පොතක්..
මෙහි කතාව එංගලන්තයේ ලිපිකරුවෙන් ලෙස වැඩ කරන "ටොම් " ඔහුගේ අයියා විසින් අක්කර 500යක කෝපි වත්තක් ලංකාවෙන් ගන්නට සලස්වයි. මේ ලිපිකරුවා ඔහුගේ සියලුම ධනය වියදම් කොට ලංකාවෙන් අක්කර 500ක කෝපි වත්තක් මිලට ගනී. ඉන්පසුව ඔහු ගේ රැකියාවෙන් ඉවත් වී ලංකාව බලා ගමන් කිරීමට සුදානම් වන අතර තුර මොහුට රැමත් " සාරා "මුණ ගැසේයි.ඇය සමග විවාහ වන මෙම අලුත් වතුහිමියා ඇයත් සමගම ලංකාවට පිටත් වී යයි.
නන්නාදුනන වතුයායක ඔවුන් අත්දකින දැ සහ ඔවුන්ගේ දිවි පෙවත පිලිබදවත් අභියෝග හමුවේ ඔවුන්ගේ නොසැලෙන ධර්යය පිලිබදවත් මෙහි විස්තර වෙයි..



පියැසි කවුළුව

Author: Asith /

කපිල කුමාර කාලිංගයන්ගේ " කන්දේ වීදියෙ" ට වූ මහත් ඇල්ම නිසාම " පියැසි කවුළුව " ද කියවා අවසන් කලෙමි.විසිවන සියවස තුල ජීවත් වූ ඉඩම් හිමි වැවිලි කරුවෙකු වූ " වින්ටර් " නැමති අපුර්ව පුද්ගලයෙකුගේ චරිතාපදානයක් පියැසි කවුළුව තුලින් දැක ගත හැකිය.වින්ටර් ගේ ලෝකය තුල බොහෝ ආශ්චර්යමත් දෑ සිදු වෙයි.ඔහුගේ කතාව ශෝකකුලය. විටක හාස්‍යජනකය විටක විකාරරූපීය.එහෙත් සියල්ල නොසගවා කියමින් ඔහු අපට අමුතුම ආකාරයේ අත්දැකීමක් ලබාදීමට සමත් වෙයි..
පියැසි කවුළුව
කපිල කුමාර කාලිංග
මිල රු 400/-
පිටු 224
කිංකිණි ප්‍රකාශණයක්.



තිබ්බත දියණිය

Author: Asith /

ටිබේට් රටේ ලස්සන ගම්මානයක උසස් යැයි සම්මත පවුලක ඉපිද චීන ආක්‍රමණය නිසා අපමණ දුක් ගැහැට විදී සෝනාමි යෑoචo නම් දැරිය නිදහස සොයා ටිබෙටයෙන් පලායාමට ගත් බිහිසුණු උත්සාහය පිළිබද කතාවයි මේ.
සෝනාමි ගමෙන් නගරයට එන්නේ චිනුන්ගෙන් බේරීම සදහා ආරක්ෂාව පතමිනි.එහෙත් 7 වන විය සපුරන්නටත් පෙර ඇය වහල් සේවයට ගොදුරු වෙයි.ඉන් පසු ටිබටයෙන් පැන යාම සදහා බෞද්ධ භික්ෂුන් දෙදෙනුක හා එක් වන ඈ හිමාලය කන්ද හා තවත් ගිරි දුර්ඝ ගංගා ඇළ වේලි වන දුර්ග පසුකරමින් පුරා සති 6 ක් ගමනේ යෙදෙයි.
කෙසේ හෝ නේපාලයේ කත්මන්ඩු නුවරටත් එතැනින් දකුණු ඉන්දියාවේ ධරමශාලවටත් පැමිණෙන ඈ දලයි ලමා තුමාගේ ආශීර්වාදය ලබයි..ඉන්පසු තම උපන් කුසලතා මතුකරමින් ගායිකාවක් බවට පත්වන ඈ යුරෝපාදී රටවල සංචාරය කරන්නේ සැබෑ දිරිය දියණියකගේ ආත්ම ශක්තිය පසක් කරමිනි...
තිබ්බත දියණිය ( Child of Tibet )
පරිවර්තනය : අනුල ද සිල්වා
සුරිය පොතක්
මිල 320/=
පළමුවන මුද්‍රණය 2009

ෂෝෂා

Author: Asith /

" ෂෝෂා "... එය අපූරු ආදර කතාවක්.....
වෝර්සෝ නුවර යුදෙව්වන් හිට්ලර්ගේ මාරක හමුදා එන තෙක් බියකරු දෙගිඩියාවක වෙසෙන අතරේ "ආරොන්", සම්ප්‍රදායික අතීතයක් සහ අස්තිර අනාගතයක් අතර කල් ගෙවයි...විවිධ ගැහැණු ඔහුට විවිධ දොරටු විවර කරති...විශේෂයෙන් හිට්ලර්ගේ අළුගෝසු හමුදාවෙන් දිවි ගලවාගෙන පලා යාමේ ඉඩකඩ ඉන් ප්‍රමුඛය...එහෙත් ළමාවියේ ආලය ගැන අතීත රතියෙන් උපන් ආකර්ෂණය ඊට බාධාවක්ද?... ඔහුගේ මිතුරු මිතුරියන්ට ඇයත්, ඇගේ ආලයත් අති ඛේදනීය විකාරයක් පමණක් නොව, ඔහුගේ මරණය ළං කරන බිහිසුණු උරචක්‍රමාලයක්ද වන්නේය...
අයිසෙක් බුෂෙවිස් සිංගර් 1978 දී සාහිත්‍ය පිළිබද නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද්දේ ය..!

Isaac Bashevis Singer | අයිසෙක් බුෂෙවිස් සිංගර් (1902 – 1991)
පරිවර්තනය- Gamini Viyangoda | ගාමිණී වියන්ගොඩ
මිල රු 430/-
විජේසූරිය ප්‍රකාශනයක්
පිටු 388

ගෝ දානය

Author: Asith /

නුතන ඉන්දීය ලේඛයන්ගේ විශිෂ්ටතමයෙකු වන "ප්‍රෙම් චාන්ද් "( 1880 - 1936 ) හින්දි ප්‍රබන්ධ කථා කලාවට නව සම්ප්‍රදායක් හදුන්වාදුන් ලේඛයෙක් ලෙස සම්බාවනාවට පාත්‍ර වූවෙකි.ප්‍රෙම් චාන්ද්ගේ අවසන් කෘතියය වන මෙම නවකතාව ඉන්දියාවේ අතිවිශාල සංඛයාවක් වූ ගොවි ජනතාවගේ ජීවිතයේ යථාර්තය ඔවුන්ගේ ජීවිතවල පවතින අනවරත දුක්ක දොම්නස්ස සහ කලාතුරකින් දක්නට ලැබෙන සොම්නස්යන්ද ගැබුරු අවබෝදයකින් නිරුපනය කරනු ලබයි.
ගෝ දාන් යනු ගවයකු පිනට දීම හෝ පරිත්‍යාගය හෝ වෙයි. හින්දු ලබ්ධිකයෝ මෙය ඉතා උතුම් සිරිතක් කොට සලකති. ලක්නව් සිට සැතපුම් විස්සක් පමණ ඔබ පිහිටි සේමර් නම් පිටිසර ගමේ වෙසෙන "හෝරී" නම් දිළිඳු බ්‍රාහ්මණ වංශිකයකුගේ පවුල කේන්ද්‍ර කැර ගනිමින් මෙම කතාව නිර්මාණය කර තිබේ . "හෝරී" ට එගම වෙසෙන "භෝලා" නම් පුරුෂයකුගෙන් එළදෙනක් තෑගි ලැබෙන සිද්ධියකින් කතන්දරය ඇරඹේ. මේ ත්‍යාගය නොහොත් “ගව දානය” ඔහුගේ ජීවිතය ඉඳුරාම වෙනස් මඟකට යොමු කරයි.
මේ රමණිය නවකතාව චින්තා ලක්ෂ්මී සිංහාරච්චි මහත්මිය මුල් හින්දි පිටපතෙන් සිංහලට පරිවර්තනය කරනු ලදුව විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය විසින් 2000 වසරේදී ප්‍රකාශයට පත් කරන ලදී.මෙය ඇය විසින් පරිවර්තන කරන ලද අවසන් කෘතියයි.

ගෝ දානය (The Gift of a Cow) ප්‍රෙම් චාන්ද්
පරිවර්තනය :චින්තා ලක්ෂ්මී සිංහාරච්චි
ප්‍රකාශක:විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
මිල: රු 700/=
පිටු 591

බල්ලෙකුගේ හදවත

Author: Asith /

අසාවෙන් කියවපු ටිකක් අමුතු විදිහේ කතාවක්.....
පශ්චාත් විප්ලවීය රුසියානු ලේඛකයන් අතරින් වඩාත් නිර්මාණාත්මක ලේඛකයෙකු වන මිකායෙල් බුල්ගකොව් ( 1891-1940) ගේ බල්ලෙකුගේ හදවත(1925) රුසියානු විප්ලවය පිළිබද ලියවුණු ඉතා තියුණු ප්‍රභසණාත්මක නිර්මාණයක් වශයෙන් සැලකේ.
මොස්කව් නුවර කුණු බාල්දි අහුලන් කෑ " ෂාරික් " නම් ඉබාගාතේ යන බල්ලෙකුට මිනිස් මොලයක් බද්ධ කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් ඌ මානවීකරණය වීමේ ක්‍රියාදාමය තුල ,බද්ධ කිරීම අත්හදාබැලීම කල විද්යාඥයා මුහුණ දෙන අර්බුදය ඔහු හීනෙන්වත් බලාපොරොත්තු නොවූවකි....

බල්ලෙකුගේ හදවත
Heart of a Dog by Mikhail Bulgakov
පරිවර්තනය: ගාමිණී වියන්ගොඩ
මිල: රු 350/=
ප්‍රකාශක: සංහිද
පිටු: 194

අන්ධකාර තාරකාව

Author: Asith /

කරුණාදාස සූරියආරච්චි මහතාගේ "අන්ධකාර තාරකාව" කියෙව්වා.මේකෙ තියෙන්නෙ පියෙකුත් දුවෙකුත් අතර තියෙන තද බැඳීම පිළිබඳව අධ්‍යාත්මික පැත්තෙන් බැලීමක්.මුල හරියේ ටිකක් කම්මැලි හිතුනට කතාව දිග ඇරෙනකොට කම්මැලි ගතිය ඉබේම නැති වෙලා යනවා.රචනා ශෛල්‍යය ටිකක් විතර සංකීර්ණයි කියලයි මට නම් හිතෙන්නේ..මොනවා උනත් ජීවිතේට යමක් එකතු කර ගන්න පුළුවන් විදිහේ කතාවක්.

''මනුෂ්‍යත්වය ඉදිරියේ ඇතැම් වචන අවලංගු වී යා යුතු කාලය පැමිණ තිබෙයි.ඒ අනුව ''පිටස්තරයා'' සහ ''අවජාතකයා'' යන වචන අවලංගු වී යා යුතුය.මිනිසුන් අතර සිටින්නේ... මිනිසුන්ම මිසක පිටස්තරයෝ හෝ අවජාතකයෝ නොවෙති "

වෑකන්දේ ගීතය

Author: Asith /

මේ සතියේ කියවල ඉවර කරපු පොතක් තමා කරුණාදාස සූරියආරච්චි මහත්මයාගේ "වෑකන්දේ ගීතය ".. .අති දුෂ්කර ගමක ජීවත් වූ තරුනේයකු වූ "පේමසිරි" උසස් අධ්‍යාපනය සදහා නගරයට යෑමත් ,පසුව දේශපාලන කැරැල්ලකට සම්බන්ධ වීමත් එනිසාම අනෙක දුක් වේදනා විද බෙලහිනයෙකු බවට පත්වීමත් අශිත අනුවේදනීය සිද්ධි මාලාවක් ‘වෑකන්දේ ගීතය’ ට පසුබිම් වී ඇත.අතුරුදහන් වූ "ප්‍රේමසිරි" සොයා යන මව "උක්කුමැණිකා" සිත සසල කල ප්‍රබල චරිතයක් විය.සරල රචනා ශෛලියක් භාවිත කර ඇති "වෑකන්දේ ගීතය "මට අගය කළ හැකි, ආදරය කළ හැකි කෘතියකි..


අපේම අම්මා

Author: Asith /

ඊයේ නිවාඩු දවසේ එක හුස්මට කියවල ඉවරකරපු ලස්සන කතාවක් තමා ගුණරත්න ඒකනායක මහත්මයාගේ "අපේ ම අම්මා".හරිම සරල භාෂාවෙන් ගැමි පරිසරයක් අලලා ලියවුනු මේ කතාවේ ප්‍රධාන චරිතය තමා " සුමනාවතී ".ඉතින් සුමනාවතීගේ සැමියා වෙච්ච " සාදිරිස් " " සිසිලියානා " කියලා වෙනත් ගැහැනියක් සමඟ සම්බන්ධයක් ඇති කරගෙන ඇගේ නිවසේ නැවතීමත් එක්ක ජීවිතය උඩුයටිකුරු වූ සුමනාවතී,ඇයගේ පවුලේ අර්බුදයට ඉතා සන්සුන් හා බුද්ධිමත් විලාසයකින් මුහුණදීමත්, ඇයගේ දිරිය කැපවීම හා අධිෂ්ඨානය නිසා දරුවන් සාර්ථක ප්‍රතිපල නෙලාගැනිමත් අලලා තමයි මේ අපුරු කතාව ගොඩ නැගිලා තියෙන්නේ.සිංහල සමාජයේ අම්මාට ඇති වටිනාකම, ඇගේ වගවීම හා ඇගේ දරාගැනීම " සුමනාවතී " නම් චරිතය මගින් උලුප්පා දක්වනු ලැබේ.
කියවන්න කියවන්න අසා හිතෙන විදිහට ලියල තියන ගුණරත්න ඒකනායක මහත්මයාගේ "අපේ ම අම්මා " මට අගය කළ හැකි, ආදරය කළ හැකි කෘතියකි...


ආදරවන්තයා

Author: Asith /

තවත් සුන්දර කතාවක්...
පුජකයාගේ අනාවැකිය සැබෑ කරමින් ඇය ලංකාවේ කුඩා ගම්මානයක සිට මලයාවට යවයි.පියාගේ උපක්‍රමයකින් විදේශ ගතවන මේ අහිංසකාවිය මලයාවේ පොහොසත් කෙනෙකුගේ බිරිද බවට පත් වන්නීය.එය සෙනෙහසින් තොර ජීවිතයකි.ඇය ආදරය එළබෙන තෙක් බලා සිටින්නීය.ඇයට ආදරය පිරිනමන්නේ කවුරුන්ද...? එය තහනම් ආදරයක් කියන්නේ ඇයි...?
The Japanese Lover by Rani Manicka
"ආදරවන්තයා"
පරිවර්තනය : චිත්‍රා අයි. පෙරේරා
මිල රු 500/=
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

අළු සිහිනය

Author: Asith /


ෆ්රෑන්ක් මැකෝට් අතින් තම ජීවන අත්දැකීම් පාදක කොට ලියවුණු මේ කතාව අයර්ලන්ත දරුවෙකු විදි අපමණ දුක් ගැහැට එක් කරමින් කල පපොච්චාරණයකි.කෙසේ වුවද නවකතාවක තිබිය යුතු කඩයිම් මායිම් ඉක්මවා ගිය Angela's Ashes අපේ හදවත් සසල කරන්නේ මහා බ්රිතානයේ එක් රාජයක් වූ අයර්ලන්තයේ මෙතරම් දරිද්රතාවක් බිමත්කමක් ඇති බව දැනගැනීම නිසා අප පුදුමයට පත් කරවමිනි.
අති මහත් පාඨක විචාරක ප්රිතිචාර ලද කෘතියක් වූ Angela's Ashes සුප්රකට පුලිට්සර් ත්යාගය ඇතුලු සම්මාන රාශියක් හිමිකර ගැනීමට සමත් විය...

Angela's Ashes by Frank McCourt
අළු සිහිනය
පරිවර්තනය : අනුල ද සිල්වා
මිල : 380/-
ප්රකාශක: සුරිය
පිටු: 256



හෘද සාක්ෂියක අඳෝනාව

Author: Asith /

" හෘද සාක්ෂියක අඳෝනාව " මේ සතියේ කියවල ඉවර කරපු තවත් හොද පරිවර්තනයක්..පොත ලියල තියෙන්නේ ජෝසප් කොන්රඩ් (Joseph Conrad) කියන පෝලන්ත ජාතික ලේඛකයා...පිටු 459 පුරාවට ගලායන මේ පොතේ තියෙන්නේ රුසියාවේ ජීවත් වුනු විප්ලවවාදීන් පිරිසක් වටා ගෙතුන කතන්දරයක්..කතා නායකයා ශාන්ත පීටර්ස්බර්ග් විශ්වවිද්යාලයේ දර්ශනය හදාරණ තෙවන වසරේ සිසුවෙක් වුණු කිරිලෝ සිදොරච්චි රසුමොව්..ඉතින් මේ රසුමොව් කියන දීප්තිමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයගේ සාමකාමී ජීවන රටාව උඩුයටිකුරු කරන සිද්ධියක් එකපාරටම සිද්ධ වෙනවා...ඒ රුසියාවේ විශේෂ බලධාරී රාජ්‍ය ඇමති වරයෙක් බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වීමත් සමගයි..මේ ඝාතනය සිදු කරන්නේ වෙන කවුරුත් නෙවෙයි , රසුමොව්ගේ විශ්වවිද්‍යාල මිතුරෙක් වෙන වික්ටර් හාල්ඩින්.බෝම්බ ප්‍රහාර එල්ල කරන හාල්ඩින් තාවකාලික රැකවරණයක්  සොයාගෙන කෙලින්ම එන්නේ රසුමොව්ව හොයාගෙන..දැඩි විනය ගරුක පිළිවෙතක් අනුගමන කරන  සිය සගයන් වෙනුවෙන් තමන්ගේ සැප පහසුවද නොතකා ඉදිරිමත් වීමට සුදානම්, ප්‍රියමනාප මේ රසුමොව් තරුණයා , හාල්ඩින්ගේ ආගමනයත් සමගම අනපේක්ෂිත ගැටළු රාශියකට මුහුණ දෙනවා..

විප්ලවාදීන් , කුමන්ත්‍රණකරුවන් ,රහස් ඔත්තුකරුවන් රාජ්‍ය නිළධාරීන් වැනි චරිත ප්‍රබලව සැරිසරන මෙකී කෘතිය විප්ලව සමයේ රුසියාවේ පැවති සමාජ අර්බුදය පාඨකයා ඉදිරියේ විදාරණය කෙරෙන අපුරු සාහිත්‍ය අත්දැකීමක් වශයෙන් හැදින්විය හැකිය...


නිර්නාමික ඝාතකයා

Author: Asith /

මාරියෝ වර්ගාස් ලෝසා, ඔහුගේ නම වන නවකථාව වන Who Killed Palomino Molero? කෘතිය සමගින් රහස් පරීක්ෂක ප්‍රබන්ධ වෙත විතැන්වී තිබේ..මෙම නවකතාවට පාදක වී තිබෙන්නේ 1950 ගණන්වල පේරු රටයි..උතුරු කාන්තාර ප්‍රදේශයේ, ගුවන් හමුදා කදවුරක් ආසන්නයේ ,තරුණ ගුවන් හමුදා භටයෙක් මරා දමා තිබියදී හමු වෙයි..ලුතිනන් සිල්වා සහ ලීටුමා නම් ඔහුගේ සහායක නිළධාරිය ඒ පිළිබධව පරීක්ෂණ සිදුකරයි..ඔවුන්ට ගමන් ගන්නට නිළ වාහනයක් පවා නොමැති හෙයින් ඔවුන් අපරාධය සිදු වූ ස්ථානයට ගමන් කරන්නේ පවා කැබ් රියදුරෙකුට බොරු කියා රවටා ඒ මර්ගයනි..ඔවුන්ගේ පාලන අධිකාරීන් ඉතාම උදාසීන පිරිසකි..ගුවන් හමුදා කදවුරේ ප්‍රධාන අණ දෙන නිලධාරියා පවා ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු වලට බාධා කරමින් මග අහුරන නමුත් ලුතිනන් සිල්වා සහ ලීටුමා කෙසේ හෝ සත්‍යය එළිදරව් කරගැනීමට අදිටන් කරගනියි...

 Who Killed Palomino Molero? ඉතා රසවත් මෙන්ම විශිෂ්ට කතා වස්තුවක් සහිත අභිරහස් නවකතාවකි..ඒ හරහා වර්ගාස් ලෝසා ඔහුගේ ආවේනික තේමාවන්ගෙන් එකක් වන දුෂිත සමාජයක අවංක මිනිසෙකු ලෙස ජීවත්වීමට ඇති අභියෝගයේ අපේක්ෂා භංගත්වය වෙත අපව කැදවාගෙන යයි..
(මුල් කෘතිය ඒ ආකාරයෙන්ම පරිවර්තනය කර ඇති නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසුය)

"  මම ඉන්නේ වෙරි මරගාතේ වෙන්නේ පුළුවන්.එත් මම ඒ වගේ අධමයෙක් නෙමෙයි..අනික තමුසේ මට කල්ලෙකුට සලකන්න ලෑස්ති වෙන්න එපා..ඔහු මද විරාමයක් තැබුවා..අයෙමත් අමිහිරි ලෙස කිව්වා, ' එත් තමුසෙට මොනවහරි දැනගන්න ඔන්නම් අහගන්නවා....මිනිහ ඉල්ලගෙන කෑවේ...

ඔහේ කියන්නේ ප්ලෝමිනෝ මොලේරෝ..?
..
..
..
..
කොහොමද මිනිහ ඉල්ලගෙන කෑවේ?

මොකද කියවනවා නම් මිනිහ ඕනෑවට් වඩා උඩ ගියා..මිනිහ අනුන්ගේ වත්තක දඩයමේ ගියා..ඒ වගේ වැරදිවලට වන්දි ගෙවන්නම වෙනවා..මිනිහ ගෙව්වා ,ගෙවන්න ඕනේ විදිහටම."

ලිටුම ගේ ඇගේ හිරිගඩු පිපුණා.මේ මිනිහා සියල්ලම දන්නවා.

" මම තමුසෙත් එක්ක එකගයි..මචං  ඕනවට වඩා උඩ ගිය එකෙක් අනුන්ගේ වත්තකට පැනල දඩයමේ ගිය එකෙක්,සාමානයෙන් එකට වන්දි ගෙවනවා..එත් කාගේ වත්තටද මේකා දඩයමේ ගියේ  ????

Who Killed Palomino Molero? :  Mario Vargas Llosa
නිර්නාමික ඝාතකයා පරිවර්තනය:ඉන්දික ගුණවර්ධන
විදර්ශන පොතක්
මිල 320/=

මුතු කරාබුව පැළදි යුවතිය

Author: Asith /

එක හුස්මට බොහොම ආසවෙන් කියවල ඉවර කරපු පොතක්...

ලොව පුරා පාඨකයන් ගේ ඉමහත් ප්‍රසාදය දින ගනිමින් රටවල් 35 ක භාෂාවන්ට පරිවර්තනය වූ Girl With A Pearl Earring , දහහත් වන සියවස මැද භාගයේ ,නෙදර්ලන්තයේ සිතුවම් කලාවේ ස්ර්ණමය යුගයේ විසු ලෝක ප්‍රසිද්ද චිත්‍ර ශිල්පී යෝහැන්නස් වරමිර් ගේ ( 1632 - 1675 ) චරිතය ඇසුරු කර  ගෙන ලියවුනු අතිශය මනරම් වුත් ගුප්ත වුත් විටක දරාගත නොහැකි තරම් අනුවෙදීනය වුත් ඓතිහාසික වටිනාකමකින් යුතු ප්‍රබන්ද කතාවකි.වරමිර්  විසින් නිර්මාණය කරන ලද මාහැගි සිතුවම් අතර ඇති මුතු කරබුවක් පැලදී නිර්නාමික යුවතිය ගේ සිතුවම මෙමෙ නවකතාවට පාදක වෙයි..
සිය පියාගේ දෑස් අන්ධ වීමෙන් පසු ඔවුන් ගේ පවුලට තිබු එක ම අදායම් මාර්ගය අහිමිවීම නිසා දහසය හැවිරිදි " ග්‍රිටිට " වරමිර් ගේ නිවසේ සේවයට යන්නට සිදු වෙයි.කලාත්මක ඇසක් හිමි ග්‍රිටි අහම්බෙන් ඔහුගේ අත් උදව් කාරිය බවට පත් වෙන අතර ඇය වර්ණ සහ ආලෝකය පිරිණු වරමිර් ගේ ලෝකයට වඩාත් සමීප වෙයි..
ට්‍රැසි ෂවලියර් ( Tracy Chevalier ) විසින් ලියන ලද,අතිශයින් ජනප්‍රියත්වයට පත් මේ නවකතාව ඇසුරින් 2004 වර්ෂයේ දී එනමින් ම නිර්මාණය වූ චිත්‍රපටිය ද ඉමහත් පාඨක සම්මානයට පාත්‍ර විය.

දගකාර මහල්ලා

Author: Asith /

හිනාවෙවී කියවන්න මරුම මාරු පොතක් " දගකාර මහල්ලා "

හින්දි ලේඛක ආබිද් සුරති විසින් ලියන ලද "බහත්සර් සාල් කා බච්චා" නමැති නවකතාවේ සිංහල පරිවර්තනයයි " දගකාර මහල්ලා " .

ගැමි ගොවියෙකු වූ "චෞධරි",ආත්ම ශක්තියෙන් පිරිපුන් අධිෂ්ඨානශීලි ස්ථාෙනා්චිත ප්‍රඥාෙවන් යුතු ප්‍රතිපත්ති ගරුක දයාවෙන් පිරි හදවතක් ඇති අවුරුදු 72 ක විනෝදකාමී  දගකාරයෙකි.ඔහු අවුරුදු 5 ක් වන තම මුණුපුරා සමග එකට එකතුවී කරන දගකාරකම් ඔබව විනෝදයටත් විශ්මයටත් පත් කරනු ඇත.

අවුරුදු 10 යේ දරුවාගේ සිට අවුරුදු 75 ක වැඩිහිටියා දක්වා වුද මුනුපුරු මිනිපිරියන්ගේ සිට ආචිචි සීයා දක්වා වූද  සියලු දෙනාටම එකසේ කියවා මහත් සේ ප්‍රීතියක් විනෝදයක් ලබා ගත හැකි නවකතාවකි..." දගකාර මහල්ලා "

කාන්සියක් සිතට දැනුනු විට මොහොතකට " චෞධරි කුශ වන්තසිංහ " සිහිකරගන්න.ඔහු හා එක්  වී මද වෙලාවකින් ඔබට සියල්ල අමතක වී  මුවගට සිනාරැල්ලක් නැගෙනු ඇත..සත්තයි

දගකාර මහල්ලා
පරිවර්තනය: ඩි පී සමරසිංහ
මිල 270/=
විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රය

දෙබෑයෝ - ජයසේන ජයකොඩි

Author: Asith /

"දෙදෙනාට ම ඇත්තේ එක ම තාත්තගේ ලේ ය .යාපනයේ වාසයට ගිය එකා ගිනි අවුවෙන් කරගෑටිව,කළුම කළු පාට යි. හිතා ඉන්නේ අමු දෙමළෙක් ය කියා ය.දැන් ඔහු සිංහලයන් මරාගෙන මැරෙන්න සුදානම් ව  සිටින කොටියෙකි ! දකුණේ එකා සිතා සිටින්නේ උතුරු නැගෙනහිර එවුන් ඔක්කොම කොටි කියාය.මොන විදියකින්වත් මුන් දෙන්නා ලං කරන්න බැරි ය .එකෙක් මැරුණුදාට ? මොන ? ජාතිවාදය අවුස්සා ඔවුන්ගේ දරුපැටවුනුත් උසිගන්වන්න ඒ තුලින් බලයට පත්වන්න දකුණේත් උතුරේත් දහසක් දෙනා සුදනමේ පසුවෙති....බලාපුවාම මේ හැමේකාම කරන්නේ බොරු ය..."

දෙබෑයෝ
ජයසේන ජයකොඩි
මිල රු 280/-
ප්‍රකාශකයෝ දයාවංශ ජයකොඩි
පිටු 216

විසේකාරී

Author: Asith /

ලතින් ඇමෙරිකානු ශේ‍ෂ්ඨතම ලේඛකයෙකුගේ මනබන්ධනීය නවකතාවක්." විසේකාරී "

යොවුන් ලිලී 1950 දී පේරු රටේ ලීම නුවරට එන විට පහළොස් වියැතිව සිටි "රිකාදෝ" ඈ දුටු මතින් ආලයෙන් වෙලෙයි.චිලී රටේ සිට පැමිණියා යැයි කියන ඇය යම් රහසක් හෙළිවූ මොහොතේ සිට අතුරුදහන් වන්නීය.ඉන් දස වසකට පසු ඔහු පැරිසියේ දී " ආර්ලෙන් සහෝදරිය" සමග ආලෙන් වෙලෙයි.ඇය ලිලී වාගේ ය.මුලු ජීවිත කාලය තිස්සෙම මේ ලීලිට විටින් විට අභිමුඛ වීම සහ ඇය සමග ආලයෙන් වේළිම රිකාදෝගේ දෛවය යි.

එහෙත් , ඈ සැබවින්ම කවුදැ යි ඔහු කිසි දාක හදුනා ගනී ද?

විසේකාරී  ( The Bad Girl by Peruvian author Mario Vargas Llosa )


අත අත නෑර

Author: Asith /

මේක ටිකක් වෙනස් තේමාවක් අනුව ලියැවිච්ච කතාවක්. " අනුරිත්-මනුරිත් " කියන්නේ  දෙබිඩි ගැහැනු ළමයින් දෙන්නෙක්.ඒ ගොල්ලො දෙබිඩි වෙලා ඉන්නෙ ඔලුවෙන්.ඒ දෙන්නට කවදාවත් ඒ දෙන්නගෙ මූණු පේන්නෙ නෑ.මේ දෙන්නට උපතේ සිටම අනතුරක් තියෙනවා.පරමායුෂ අවුරුදු 30 කියලා දැනගෙන තමයි ඒ දෙන්නා  තම අම්මා වන  "ප්‍රේමනී",පුංචි අම්මා "නලිනි" සහ අත්තම්මා එක්ක  ජිවත් වෙන්නේ.. .තාත්තා "පායාස" යැයි කියයි.ඔහු විවාහයෙන් මාස 3 කට පසු අතුරුදහන් වී ඇත .."පායාස" ගැන ඔත්තු බලන්නට ආ ඔත්තුකාරයා නලිනි ගේ හදිසි පෙම්වතා බවට පත් වෙයි.උපරිමායුෂ වයස 30 ක් යැයි කියූ දැරියන් දෙදෙනාගෙන් එක් අයෙක් ඔත්තුකරුවා අතින් දූෂණය  වෙයි...සැගවී සිටින ඔත්තුකාරයාගේ ඉරණම නලිනී විසින් විසැදෙයි.ඒ නලිනි අතින් ඔත්තුකාරයා පිහි ඇනුම් කා මිය යාමෙනි .නලිනී සිරගත වෙයි....

ඔන්න ඕකයි කතාවේ සාරාංශය ..මම නම් බොහොම අසාවෙන් එක හුස්මට කියවල ඉවර කලා..පුළුවන් නම් හොයාගන කියවල බලන්න..



''අපු ත්‍රිත්වය '' - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය

Author: Asith /

මා චින්තා ලක්ෂ්මි සිංහආරච්චි මහත්මිය ගේ  " අපූර්වත්වයෙන් " සපිරුණු ඒ  ''අපු ත්‍රිත්වය '' එක හුස්මට කියවා අවසන් කලෙමි.ඒ අපුර්වත්වය "අපු ත්‍රිත්වය " කියවා අවසන් කල ඕනෑම අයෙකුට පොදු දෙයක් ලෙසයි මා නම් දකින්නේ....

"අපු " අප හදුනා ගත්තේ "මාවතේ ගීතයයෙනි ".බෙංගාලි පවුලක දරුවෙක් වෙන අපූර්වගේ ජිවිතේ ළමා කාලය ඉතා සංවේදී ලෙස  මේ පොතේ ලියවී තිබෙනවා. සත්‍යජිත් රායි විසින් අධ්‍යක්ෂණය කරන ලද අද්විතීය බෙංගාලි සිනමාපටයක් ලෙස සැලකෙන පාතර් පංචාලි චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේද  මෙම නවකතාව ඇසුරින්...

"අපරාජිත ජීවිතයක් " අපූගේ ගැටවර කාලය තමයි ඉතිං කියවෙන්නේ. වීර්ය ධෛර්ය ඇති නම් කල නොහැක්කක් නොමැත කියලා අපූර්ව අපිට පෙන්නනවා. දන්නේම නැතිව කියවෙලා ඉවර වෙන පොතක්...

" අපුගේ ලෝකය "අපු නම් වූ ස්වාමි පුරුෂයාගේ - පියාගේ පමණක් නොව දහසකුත් දුක්‍ය දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වූ පැසුණු මිනිසාගේ ජීවන ගමනේ අවසාන භාගය වේ...

අපුගේ ජීවන ධාරිතාව පෘථුල කල සුන්දර බිරිද " අපර්ණා " - ජීවත්වීමේ ආශාව දැල්වූ පුත් " කාජල් " ජීවනයේ මිහිරි සුවද විදහා පැ  "ලීලා" පාථක සිත් සතන් තුල සදා අමරණිය චරිත ලෙස අපුගේ ලෝකයේ සිතුවම් වී ඇත........!



අවුෂ්විට්ස් ඝාතක කදවුර, නාසිවාදීන් සහ ”අවසාන විසදුම”

Author: Asith /

ලෝක ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක් සනිටුහන් කළා වූ සිදුවීමක් වශයෙන් දෙවැනි ලෝක සංග‍්‍රාමය ද ඒ හා බැදුණු දස ලක්ෂ සංඛ්‍යාත ජන සංහාරයන්ද සැළකිය හැකි වන්නේය.ජර්මනියේ මිනීමරු නට්සිවාදීන්ගේ ඝාතක බලඇණිය වන එස්.එස් සේනාංකය විසින් පෝලන්තයේ පවත්වාගෙන ගිය කුප‍්‍රකට ඝාතක කදවුරක් පිළිබද කියැවෙන සංවේදී කතාන්තරයයි....අවුෂ්විට්ස් ඝාතක කදවුර

නට්සිවාදීන්ගේ " අවසාන විසදුම " නිර්මාණය කිරීමේ ලා ඇඩොල්ෆ් හිට්ලර් තීරණාත්මක බූමිකාවක් රගපැවේය.ඔහුගේ අවසාන විනිශ්චය වුයේ ලෝකයේ ජනතාව ආර්ය (උසස්) සහ අනාර්ය (පහත්) වශයෙන් දෙවර්ගයකට බෙදෙන බවයි.මුළු ලෝකයම කෙසේ වෙතත් අඩු වශයෙන් යුරෝපයවත් අනාර්ය ජනතාවගෙන් නිදහස් කරගත යුතු බව ඔහු ඇදහීය. යුරෝපීය සමාජ ක‍්‍රමය තුල අනාර්යයන් වශයෙන් වැඩි වශයෙන්ම සැළකුණේ යුදෙව්වන්ය. ආර්යයන්ගේ යුරෝපයක් බිහිකිරීමේ සිහිනය දුටු හිට්ලර් සහ ඔහුගේ ගෝලයන් ඒ සදහා අවසන් විසදුමක් යෝජනා කොට එම සැළැස්ම ක‍්‍රියාවට නැංවීය..

ආක්‍රරමණකාරී ජර්මානු හමුදා විසින් යටත් කර ගන්න ලද පෝලන්තය ප්‍රංශය වැනි විදේශ රටවල ප්‍රථම කටයුත්ත වුයේ යුදෙව් ජාතික සිවිල් පුර වැසියන් වට කර විශේෂයෙන් පිහිටුවන ලද වධකාගාර සහ කදවුරු වලට ගාල් කිරීමයි.මුල් කාලයේදී එසේ අල්ලගන්නා ලද යුදෙව්වන්  වැන් හා ට්‍රක් රථ වලට පොදි ගස්වා මාරාන්තික ගෑස් (කාබන්ඩයෝක්සයිඩ්  වායුව) ගසා ඝාතනය කරන ලදී.මෙමෙ ක්‍රමය අකාර්යක්ෂම වුවා පමණක් නොව ඇතැම් අවස්ථාවලදී අනවශය ප්‍රසිද්ධියකට පත්වීමට ද හේතු විය.ඒ නිසා මිට වඩා කාර්යක්ෂම වුත් රහස්‍ය වුත් කිසියම් ක්‍රමයක අවශ්‍යතාවය මතු විය.1942 ජනවාරි මස බර්ලිනයේ රැස් වූ නට්සි හමුදා නිලදාරී හමුවකදී තීරණය කර ගත පරිදි යටත් වූ යුරෝපා රටවල යුදෙව්වන් ගාල් කොට නැගෙනහිරට ගෙන ගොස් " අවසාන විසදුම " ක්‍රියාවට නංවන ලදී .පෝලන්තයේ කුප්‍රකට " අවුෂ්විට්ස් "ඝාතක කදවුර බිහි වුනේ එහි ප්‍රතිපලයක් ලෙසයි..

1945 වසරේ දෙවන ලෝක යුධය අවසාන වන විට ගැහැණු පිරිමි සහ ළමුන් ද ඇතුළුව යුදෙව් ජාතික පුරවැසියන් එකොලොස් ලක්ෂයකට අධික පිරිසක් අවුෂ්විට්ස් හි ගෑස් කාමර (මෙහිදී යොදාගනු ලැබුවේ සයික්ලෝන් බ්‍ වායුවයි)හා වධකාගාර වල සමුල ඝාතනය වී තිබිණ..මිනිසාට එරෙහිව මිනිසාගේ අමනුශ්‍යත්වයේ තරම වටහා ගැනීමේ යතුරක් ලෙස හැදින්විය හැකි මෙමෙ කෘතිය මෙකි සංහාරය තුල සිදුවූ සිද්ධීන් පිලිබදව කෙරෙන ඵෛතිහාසික විග්‍රහයකි.

AUSCHWITZ : THE NAZIS & THE “FINAL SOLUTION” - Laurence Rees
අවුෂ්විට්ස් ඝාතක කදවුර, නාසිවාදීන් සහ ”අවසාන විසදුම” - ලෝරන්ස් රීස්
පරිවර්තනය - ගාමිණී වියන්ගොඩ
රාවය ප‍්‍රකාශනයකි.
මිළ රු. 750
පිටු 433



අම්මාගේ ආදරය කළු ද? සුදු ද ?

Author: Asith /

මනුෂ්‍යත්වය හා මාතෘත්වය පිළිබද සංවේදී විවරණයක යෙදෙන කෘතියක්..

දකුණු අප්‍රිකානු නිම්නයක වෙසෙන ෆීලා කොමොටිගේ නිවාස අසළට කිසිවෙකු හෝ සුදු දරුවෙක් දමා ගොස් තිබේ..කාත් කවුරුවත් නැති දරුවාට ෆීලා මවක් වන්නීය..ආදරයට කළු සුදු භේදයක් නොමැත..
බෙන්ජමින් කොමොට් නමින් හදුන්වන කුඩා දරුවා ඇයට මහත් සෙනෙහසක් දක්වන්නේය..
අනතුරුව වසර ගණනාවකට පසුව බෙන්ජමින් තමාගේ නැති වූ දරුවා බව කියමින් වැන්  රූයෙන් පවුල ඔහුට අයිතිවාසිකම් කියයි..ෆීලා නොබියව සටන් කළ ද සුදු මිනිසුන්ගේ නීතිය ඇයට බාධකයක් ව සිටියි..ඇයට සිය අවනඩුව ඉදිරිපත් කරන්නට සිටියේ දෙවියන් පමණි..

අම්මාගේ ආදරය කළු ද? සුදු ද ?
පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර
මිල රු 580/-
විජේසූරිය ප්‍රකාශනයක්


පෙද්රෝ පරාමෝ

Author: Asith /

පියා සොයා ගැනීමට  මිය ගිය තම මව ගේ උපන් ගම වෙත ගමන්කරන පුද්ගලයෙකු වටා ගෙතුණු කතාවකි "පෙද්රෝ පරාමෝ "...විසිවන සියවසේ ලෝක සාහිත්‍යයේ විශිෂ්ට කෘතියක් ලෙස සැලකෙන මෙය ඉතා විශිෂ්ට අන්දමින් ධර්මසේන පතිරාජයන් විසින් පරිවර්තනය කොට ඇත..සියක් වසරක හුදකලාව (  One Hundred Years of Solitude )  නමැති ලෝක ප්‍රකට නවකතාවට උල්පත වුයේ මෙමෙ  "පෙද්රෝ පරාමෝ " යැයි කියන මාර්කේස් මෙමෙ නවකතාව කට පාඩමින් කියවීමට හැකි වන තරමේ වාර ගණනක් කියවා ඇති බව සදහන්  කර ඇත..

පේද්රෝ පාරාමෝ ( Pedro Páramo )
ජුආන් රල්ෆෝ (Juan Rulfo)
පරිවර්තනය : ධර්මසේන පතිරාජ
මිල : රු. 300
ප්‍රකාශනය : ෆාස්ට් පබ්ලිෂින්


ජන පුරිසෙක්

Author: Asith /

 රටක සාමාන්‍ය ජනතාව තමන්ගේ පාලනය සදහා පොදු ජන නියෝජිතයන් පත් කැරගනුයේ බහුතර ඡන්දෙයනි..ඒ අය ජනතා නියෝජිතයන ලෙස පෙනී සිටිනුයේ පත් වන තෙක් පමණි..ඉන් පසු ඔවුහු ජනතාවගේ පාලකයන් බවට පත් ව පොදු ජනයාගෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට එක්රැස් කෙරෙන අරමුදල් සිත් සේ ගසාකමින් කුමාර ජීවිත ගත කරති..දේශයේ හිමිකරුවන් බවට පත් වන ඔවුහු ඉන් නොනැවතී මහජනයාට අයිති පොදු දේපල ද සිත් සේ පරිහරණය කරමින් සිය පවුල්වලට පරම්පරා ගණනාවකට සරිලන සේ ඒවා ගොඩ ගසා තබති..
ජනතාව මේවාට එරිහි වන්නට නොදනී..මන්ද යත් ඔවුන්ගේ නැණස් පෑදි නැති බැවිනි.ඔවුන් සිතන්නේ " කවුරු ආවත් කන එක නවත්තන්න බෑ " කියාය..

පරිවර්තකගේ සටහන
--------------------------
චිනුආ අචිබෙගේ The Man of the People නම් කෘතියේ සිංහල පරිවර්තනයයි මේ. 1986 දී පමණ දයාසේන ගුණසිංහයන් විසින් කරන ලද මේ කෘතියේ පරිවර්තනයක් ‘පොදු ජනයාගේ මිනිසෙක්’ නමින් පළ වී ය. එය ඒ දවස්වල ම විකිණි අවසන් වන්ට ඇත. අපේ රටේ දේශපාලනයට ඉතා ගැලපෙන තතාවක් අන්තර්ගත ‘පොදු ජනයාගේ මිනිසෙක්’ නැවත මුද්‍රණය නොකෙරිණි. එසේ ම එය නැවත එය මුද්‍රණය වන බවක් පෙනෙන්නට නොමැත. එහෙත් එය නැවත ජනගත වීම කාලීන අවශ්‍යතාවක් සේ සලකා මවිසින් අලූතින් ම එය සිංහලට පරිවර්තනය කරන්නට යෙදුණි.

A Man of the People (1966)
by Chinua Achebe
ජන පුරිසෙක්
පරිවර්තනය : එස් . නන්දලාල්
මිල රු 350/-
සුභාවි ප්‍රකාශන