මෝටර් සයිකල් දිනපොත

Author: Asith /

ආජන්ටිනාවේ රොසාරියෝ ‍නම් නගරයේ උපන් අර්නස්ටෝ චේ ගුවේරා නම් සොදුරු විප්ලවවාදියා තම ජීවිතයේ අප්‍රකට සමයේ ඔහුගේ සමීප මිතුරකු වූ ඇල්බර්ටෝ ග්‍රනාඩෝ සමග දකුණු ඇමෙරිකාව පුරා සංචාරය කළේය...‘ලා පෙඩරෝසා’ නමින් ඔවුන් හැදින්වූ 500CC නොර්ටන් වර්ගයේ යතුරු පැදියකින්, 1951 වර්ෂයේදී බුවෙනොස් අයර්ස් නුවරින් ගමන් අරඹා ආර්ජන්ටිනාවේ අත්ලාන්තික් සාගර වෙරල දිගේ , පැම්පාස් තණ බිම් හරහා සුප්‍රකට අනදිස් කදුවැටිය ඔස්සේ චිලීයට , එතැන සිට උතුරු දෙසට පේරු හා කොලොම්බියාවට ගමන් කල මේ සංචාරයට කිලෝමීටර් 8,000 කට වඩා ඇතුලත් වී තිබණි...ඒ මාස නවයක් තිස්සේ කෙරුණු සංචාරය, අර්නස්ටෝ විසින් දිනපොතක සටහන් කර ගන්නා ලදී...අප්‍රකටව පැවති අර්නස්ටෝගේ සංචාරක සටහන් , පසුව ඔහු චේ ගුවේරා ලෙස කරළියට පැමිණීමෙන් පසු The Motorcycle Diaries නමින් ලෝක ප්‍රසිද්ධ විය.මේ කෘතිය අපගේ වියත් ගණයේ පරිවර්තිකාවක් ලෙස නම් දරා සිටින මාලනි ගෝවින්නගේ මහත්මිය විසින් " මෝටර් සයිකල් දිනපොත " නමින් විශිෂ්ට ලෙස සිංහලට පරිවර්තනය කර ඇත...සංචාරය පුරා දෙමිතුරන් මුහුණ පෑ සිදුවීම් අත්දැකීම් සහ දකුණු ඇමෙරිකා මහද්වීපයේ ස්වභාව ධර්මයේ අසිරිය ජීවමාන ලෙස අත්විදීමට සැලැස්වීම ගැන මාලනි ගෝවින්නගේ මහත්මියට අතිශයින් ස්තූතිවන්ත විය යුතුය.

"" මම තිරිංගය තද කළෙමි...යාන්තම් පාස්සා තිබුණු තිරිංගය කැඩී ගියේය...මද වේලාවක් ගතවනතෙක් දෙපසින්ම අප පසුකොට දිවයන හරකුන් මිස අන් කිසිවෙක් මම නොදිටිමි...මේ අතර අසරණ පොඩරෝසා වේගයෙන් පල්ලමට ඇදුනේය...ප්‍රාතිහාර්යයකින් මෙන් එවර අප දුටුවේ අවසාන එළදෙනගේ කකුල් පමණි...එහෙත් ඈතින් ගංගාවක් බිහිසුණු ලෙස හඩ තලමින් අප වෙතට දිව ආවේය...මම ක්ෂණයෙන් පාරේ පැත්තකට යතුරු පැදිය හරවීමි...ඇසපිය හෙළන මොහොතකින් යතුරු පැදිය මීටර් දෙකක් පමණ ගං ඉවුරට නැංගේ අප පාෂාණ ගැටි දෙකක් අතර සිර කරමිනි...එහෙත් අපට අනතුරක් සිදු නොවීය. "" 

The Motorcycle Diaries - Ernesto "Che" Guevara
මෝටර් සයිකල් දිනපොත - මාලනි ගෝවින්නගේ මහත්මිය
මිල රු 480/-
දර්ශන ප්‍රකාශනයක්
පිටු 248
ප්‍රථම මුද්‍රණය 2013