කරමසෝ සහෝදරයෝ

Author: Asith /

" නියම මිනිසෙකු වීමට නම් දුක් විදිය යුතුය...දුකින් මිනිසාගේ වටිනාකම වැඩි වෙයි...මිනිසා තුල දේව ගතිය සමගම  මෘග ගතියද ඇත...මෘග ගතිය නැති කරගෙන දේව ගතිය මතු වන්නේ දුක තුලිනි "- ප්යෝදර් දොස්තොයෙව්ස්කි -

මාසයකට වැඩි කාලයක් තිස්සේ කියවල ඉවර කරපු බොහොම වටිනා කියන පොතක්  " කරමසෝ සහෝදරයෝ "...කාණ්ඩ දෙකකින් සමන්විත පිටු 1182 පුරාවට ගලායන මේ දැවැන්ත නවකතාව රචනා කරල තියෙන්නේ 1821 වර්ෂයේදී උපන්  රුසියානු මහා සාහිත්‍යධර ප්යෝදර් දොස්තොයෙව්ස්කි නම්  සාහිත්‍යධරයා විසින්...සාහිත්‍ය ලෝකයේ රුසියන් නවකතාව උසස් තත්වයකට රැගෙන ගිය ලේඛයන් අතුරින් දොස්තොයෙව්ස්කිට හිමිවන්නේ වැදගත් ස්ථානයක්.

භයානක පිතෘ ඝාතනයක් වස්තුකොටගත් "කරමසෝ සහෝදරයෝ" දිගහැරෙන්නේ පියෝදර් පවුලොච්චි කරමසෝ නමැති අපකීර්තියට පත් ඉඩම් හිමි රදලයෙකුගේ පවුල වටාය...ඔහුගේ පුතුන් තිදෙනා පිළිවෙලින් මිතීයා , ඉවාන් හා අලෝෂා මෙමෙ නවකතාවේ ප්‍රධන චරිතයෝ වෙති...ගෘසන්කා නමැති වෙසඟනට පෙම් බදින වැඩිමහලු පුතු මිතීයා සහ පියා පවුලොච්චි කරමසෝ අතර ඇතිවෙන තරගයෙන් පියා පරාජය වී ඝාතනය වීමෙන් පසුව කරමසෝ පවුලට වන දුඛදායක ඉරණම මෙකී මහා නවකතාවෙන් විස්තර වෙයි..බොහෝ පරිවර්තන නවකතා කියවා ඇති මට දොස්තොයෙව්ස්කිගේ කරමසෝ සහෝදරයෝ කියවීමෙන් පසුව දැනුනේ අමුතු වර්ගයක මිනිසුන් වෙසෙනා අදුරු ලෝකයකට පිවිසියාක් මෙන්ය.....නොයෙක් තරාතිරමේ චරිත වලින් තදබද වී ඇති " කරමසෝ සහෝදරයෝ " තුල දක්නට ලැබෙන්නේ එකී චරිත විදිනා දුක , ඔවුන්ගේ කෝපය ,ප්‍රේමය ,වෛරය ,අහංකාරකම ,දුෂ්ටකම,සල්ලාලකම ,කරුණාව ,දයාව ආදී මිනිස් ගතිය...බෝසත් චරිතයට සමාන කමක් ඇති අලෝෂා සහ සොසීමා නම් තවුසාගේ චරිත තුලින් මෙමෙ කතාවට ආලෝකයක් සපයයි.

ආත්මාර්ථය මත ගොඩනැගුනු සමාජයක පීඩා විදින මිනිසුන් වෙත දයානුකම්පාව විදහාපාන ප්යෝදර් දොස්තොයෙව්ස්කි නම් ශේෂ්ට ලේඛකයාගේ පොත පතින් අනාවරණය කෙරෙන්නේ  දුක වේදනාව විසින් පෙළෙන ලද මිනිස් සිතෙහි යථාර්තයයි..කලා කෘති  වශයෙන්  දොස්තොයෙව්ස්කිගේ නවකතා ඉතා උසස් යැයි අවිවාදයෙන් පිළිගැනේන්නේ මේ නිසා වියයුතුය...අවසාන වශයෙන් ඉතා සරල සුගම්‍ය බස් වහරක් යොදාගෙන ඇති " කරමසෝ සහෝදරයෝ " අපගේ ජේෂ්ඨ අග්‍රගණ්‍ය පරිවර්තක සිරිල් සී පෙරේරා මැතිදුන්ගේ අති විශිෂ්ට  පරිවර්තන කෘතියක් ලෙස හැදින්විය හැකිය.


අපුරු මිනිසෙක්

Author: Asith /

සුපිරි මිනිසෙකුගේ සුපිරි කතාවක්

ජීවිතය ද චාරිකාවකි. ගමනාන්තය සැමට පොදුය. එහෙත් එක් එක් අය විවිධ මාවත්හි ගමනේ යෙදෙති. ඇතැමුන්ගේ චාරිකා අපූර්වය. රසවත්ය. විවිධය. සමහරක් දුක්මුසුය. කටුකය. එහෙත් අවසානය ජයග්‍රාහීය.එවන් ජයග්‍රාහී ජීවිතයක් උරුම වූ අපුරු මිනිසෙකුගේ ජීවිත කතාවයි (biography) මේ.
- අපුරු මිනිසෙක් ( Steve Jobs )
- අනුවර්තනය : මහින්ද හත්තක 


දිනක කුසිනාරාවේ

Author: Asith /

මෙම අපුර්ව නවකතාවට පසුබිම් වන්නේ ගෞතම බුදුරජාණන්වහන්සේ අසු වියැති පරිනිර්වාණාභිමුකව ගෙවූ ජීවිත සමයයි...කෘතියේ ප්‍රධාන කථකයා වෙමින් එම යුගය විවරණය කර දක්වන්නේ අග්‍ර උපස්ථායක, ධර්ම භාණ්ඩාගාරික අනඳ මහ තෙරිඳුන් විසිනි...මෙය පහන් සංවේගය දනවයි...සැදැහැ බැතිසිත් ඇත්තන්ගේ නෙතට කඳුලක් ගෙන එයි.

- දිනෙක කුසිනාරාවේ
- භද්‍රජි මහින්ද ජයතිලක
- සරසවි ප්‍රකාශන



බණ්ඩර මැරූ උන්

Author: Asith /

චිත්‍රශිල්පය , ලෝ ප්‍රකට චිත්‍රශිල්පීන් හා ලෝ ප්‍රකට සිතුවම් පිළිබදවද සාකච්ඡා කරන මෙම නවකතාව , ඉතා අභිරහස් ලෙස මහවැලියේ ගිලී මියගිය ජාත්‍යන්තර කීර්තියට පත්වූ ගිරිදේව නම් චිත්‍රශිල්පියාගේ ජීවිතය හා බැදුණු ,භද්‍ර අභද්‍ර සිදුවීම් ගැබ්කොට ගත් අනුවේදනීය පුවතක් ගෙන එයි...හොද කොමියුනිස්ට්වාදියෙකුගේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවය කළ වෛද්‍ය විශේෂඥයෙකුගේ ජීවිත සටහන්ද මෙම නවකතාව හා බැදී පවතී...එමගින් මෙරට වාමාංශික ව්‍යාපාරයේ ශෝකජනක පරිහානියද වර්තමාන මැදපන්තියේ ඛේදවාචකයද පෙන්නුම් කෙරේ...බ්‍රේස්ගර්ඩ්ල් සිද්ධිය හා මෑතකාලීන ශ්‍රී ලංකාවේ දේශපාලන නිරූපණය කරන එය,බෙදුම්වාදී යුද්ධය වක්‍රාකාරයෙන් පවුල් ජීවිත වලට බිදී විසිරී යාමට හේතු වූ ආකාරය මෙන්ම ,විශිෂ්ට රූ ඇති ස්ත්‍රීන්ට ශිල්ප දීපියා පරදාර කර්මයේ හැසිරෙන සරසවි ඇදුරන් ගැනද කියයි..

දුම්බර මිටියාවත උඩරට තේ වතුකරය,මැරේකැලේ වන අරණ මෙන්ම විවිධ රට රාජ්‍යවලටද පාඨකයා ගෙන යන මෙම නවකතාව මගින්ද කතුවරයා සිංහල නවකතාවේ ආඛ්‍යාන රටාවේ නවමු වෙනසක් සිදුකොට ඇත...මෙම නවකතාකරුවාට සුවිශේෂ වන්නාවූ සම්භාව්‍ය සිංහල සහිත්‍යයෙන් ලබන නොමද අනුප්‍රාණය නවකතාව පුරා දැකිය හැකි වන්නේය...චිත්‍රශිල්පීන් හා චිත්‍ර පදනම් කොටගෙන ලියැවුණු නවකතා රාශියක් ලෝක සාහිත්‍යට උරුම වී තිබේ..." බණ්ඩර මැරූ උන් " නවකතාවද ඒ අතරට එක් වෙයි...
( කෘතියේ පසුවදන )
- බණ්ඩර මැරූ උන්
- සේන තෝරදෙනිය
- දයාවංශ ජයකොඩි ප්‍රකාශණයක්
- මිල රු 650/-
- පිටු 510

කරුමක්කාර කතාවක් (ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස්)

Author: Asith /

මම කියවල තියන හොදම පරිවර්තන කෘතිය කියල කිව්වොත් නිවැරදියි..කතාව ගලා යන්නේ  අමානුෂික පුද්ගල ඝාතනයක් ගැන..ඝාතනය වෙන්නේ " සන්තියාගෝ නසාර් " කියන අහිංසක තරුණයෙක්ව..ඝාතනය වෙන්න හේතුව තමයි තරුණියක් තම විවාහ රාත්‍රියේදී කන්‍යාවියක් නොවන බව සැලවීමෙන් දැඩි කෝපයට පත් ඇයගේ නිවුන් සොයුරන්ගෙන් බේරීමට එයට වගකිව යුත්තා ලෙස මෙම සිද්ධියට කිසිදු සම්භන්දයක් නොමැති අහිංසක "සන්තියාගෝ නසාර්" ව නම් කිරීම..ඉතින් තමන්ගේ නංගිට වෙච්ච අවනඩුවට පලිය ගන්න තමා මේ නිවුන් සොයුරන් සන්තියාගෝ නසාර් ව ඝාතනය කරන්නේ..නසාර් ව ඝාතනය කරන්න කලින් නිවුන් සොයුරන් හැම තැනම ප්‍රචාරයක් යවනවා මේ දවසේ , මේ වෙලාවට සන්තියාගෝ නසාර්ව ඝාතනය කරනවා කියලා..නසාර් විතරක් නෙවෙයි නසාර් ගේ මව ,නගරයේ පුජකයා , නගරයේ වැසියන් කිසිවෙක් මේ ප්‍රචාරය තබේකට මායිම් කරන්නේ නෑ..හැබැයි නියම දවසේ නියම වෙලාවට නසාර්ව දෙනෝ දාහක් ඉස්සරහා ඉතා අමානුෂික ආකාරයට ඝාතනය වෙනවා..ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් නම් ලෝක පුජිත නවකතා කරුවාගේ යථාර්ථවාදී ශෛයිලියයි ගාමිණි වියන්ගොඩ මහතාගේ විශිෂ්ඨ පරිවර්තන හැකියාවයි හින්ද මේ කතාව සැහෙන්න ඇගට දැනෙනවා..කියවල ඉවර වෙලා සති දෙකක් තුනක් යනකම් ජීවිතෙත් එක්ක එපා වෙලා හිටියේ..කතාව ඒ තරමටම " කරුමක්කාරයි ". ඒක හින්ද වෙන්නේ ඇති පොත කියවල අවුරුදු 2 ක් විතර ගියත් කතාව අද කියෙව්වා වගේ මතක තියෙන්නේ....