යක්‍ෂයා සහ ප්‍රයිම් මෙනවිය

Author: Asith /

යහපත් ,අවංක ජීවිතයක් ගත කරන පුරවැසියන් 281 ජීවත් වෙන සුන්දර විස්කෝස් ග්‍රාමයට යක්‍ෂයා පැමිණෙන්නේ ආර්ජන්ටිනාවේ සිට " කාර්ලෝස් " නමිනි..ඔහු ගෙන එන්නේ නපුරය..විස්කෝස් ග්‍රාමය ම මිලට ගැනීමට තරම් වටිනා රත්‍රන් සමග පැමිණෙන කාර්ලෝස්, විස්කෝස් වැසියන් විස්සෝප ගන්වන්නට සමත් වන්නේ එකී වැසියන් ලවා මිනී මැරුමක් කරවා එම අභියෝගය වෙනුවෙන් රත්‍රන් පිරිනමන්නට සූදානම් බව ග්‍රාමයේ ජීවත් වන තරුණියක් වන " චන්තාල් ප්‍රයිම් "මගින් ගම්වැසියන්ට දැනුම් දීමෙනි..එක් සතියක් කාලයක් තුල සිය හෘදය සාක්‍ෂිය සමඟ තරග වැද දිනනු ලබන්නේ යහපතද , නපුර දැයි තීරණය කරන්නට විස්කෝස් ග්‍රාමයේ වැසියන්ට සිදු වෙයි...එහෙදි ඔවුන් විසින් තෝරා ගනු ලබන්නේ යහපතද..? එසේත් නැත්නම් නපුරද..?
ලෝ ප්‍රකට, බ්‍රසීලියානු ජාතික පාවුලෝ කොයියෝ Paulo Coelho විසින් රචිත තුන් ඈදූතු කතා පෙළෙහි නිමාව "යක්‍ෂයා සහ ප්‍රයිම් මෙනවිය" යි...එහි මුල් කෘති දෙක වනුයේ පියෙද්රා ගගබඩ හිද මම වැලපුනෙමි(By the River Piedra, I sat down and wept - 1994 ) හා වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි (Veronika decides to Die - 1998 ) යන ග්‍රන්ථ දෙකයි...මේ සෑම කෘතියක් මගින්ම හදිසියේ ආලය, මරණය ,හා බලයට මුහුණ පෑ සාමාන්‍ය මිනිසුන්ගේ සත් (7) දිනක කාලය පිළිබදව අවධානය යොමු කරන කොයියෝ ,යමෙකුට තම ඉරණම ලුහුබැඳ, ජීවිතය ජය ගන්නට සතියක කාලයක් ප්‍රමාණවත් යැයි විශ්වාස කරයි...මිනිසුන් තුළ ඉමහත් බලපෑමක් ඇතිකළ හැකි විශිෂ්ට කතන්දර කියන්නෙකු ලෙස සැලකෙන කොයියෝගේ " යක්‍ෂයා සහ ප්‍රයිම් මෙනවිය " ඔහුගේ නිර්මාණ අතර වෙසසින්ම කැපී පෙනෙන කෘතියක් වන අතරම චූලානන්ද සමරනායක මහතා විසින් විශිෂ්ට ලෙස සිංහලට පරිවර්තන කර ඇත...

" මං කවුද ? හොදයි අපි එහෙනං මෙහෙම කියමු...දැන් ටික කාලයක් තිස්සේ කිසියම් විශේෂිත සත්‍යක් ගවේෂණය කරමින් ඇවිදින මිනිහෙක් ! අන්තිමේ දී මං ක්‍රමවේදය හොයාගෙන තියනවා..එත් කිසිමදාක ඒක ප්‍රායෝගිකව අත්හදා බලලා නෑ ."
" මොන තාලේ සත්‍යක්ද ? "
"" මිනිස් වර්ගයාගේ ගති ස්වභාවයන් ගැන. යක්‍ෂයාගේ පෙළඹවීමට අහු වුණාම, අපි හැම තිස්සෙම පරිහානියට ඇද වැටෙනවා කියන එක මං හොයා ගත්තා. හරිහමන් අවස්ථාවක් එළඹුණාම මේ මිහිපිට ඉන්නා ඕනෑම මනුස්සයෙක් පාපයේ ගැලෙන්න කැමති වෙනවා ""
(පිටුව 14)

"ඔන්න මගෙ කෙල්ලේ, කොහොම හරි අන්තිමේ දී උඹ මං කියපු විදියට කරන්නයි යන්නේ. ඒකාන්ත විශ්වාසයෙන් ම මට උඹට එක දෙයක් කිව්වැකි. ජීවිතේ හරිම දිගයි, නැත්නම් හරිම කෙටියි කියලා උඹට පේන්නේ, උඹ ඒ ජීවිතේ ගෙවන ආකාරය අනුවයි."
(පිටුව 215) 
 
යක්‍ෂයා සහ ප්‍රයිම් මෙනවිය (The Devil and Miss Prym)
පරිවර්තනය :චූලානන්ද සමරනායක
මිල : රු 350/-
පිටු 215
විදර්ශන ප්‍රකාශණයක්

0 comments:

Post a Comment