මේ මිනිසෙකු නම්

Author: Asith /

"" හැමෝම තමන්ට වැඩියෙන්ම ගැළපෙන විදිහට ජීවිතෙන් සමුගත්තා..සමහරු යාච්ඤා කරමින්, සමහරු ඕනෑකමින් බීමත් වෙමින්...තවත් සමහරු අවසාන වතාවට සරාගයෙන් මත් වෙමින්..එත් ගමනට ඕනේ කරන කෑම බීම ලකලෑස්ති කරමින් රෑ වෙනකම් ඇහැරලා හිටිය අම්මලා ළමයින්ව හෝදලා බඩු අඩුක් කළා..උදේ බලනකොට හෝදලා වේලෙන්න එල්ලපු ළමයින්ගේ ඇදුම් පැළදුම් වලින් කම්බි වැට පිරිලා...ළමා නැපි, සෙල්ලම් බඩු, පොරවන රෙදි, කොට්ට කුලිච්චම් සහ ළමයින්ට කවදත් ඕනේ කරන නොයෙකුත් අඩුවැඩිය අම්මලාට අමතක වුනේ නැහැ...ඔබත් එහෙම නොකරාවිද..?? ඔබ සහ ඔබේ දරුවා හෙට මරණයට පත්වෙන බව දැනගත්තත් අද ඔබ ඒ දරුවාට කන්න නොදී ඉන්නවාද..??  ""

ප්‍රීමෝ ලෙවි ( Primo Levi ) 1919 දී ඉතාලියේ තුරින් නුවර දී උපත ලැබීය...වෘත්තියෙන් ඔහු රසායන විද්‍යාඥයෙකි..කෙටිකතා සහ වෙනත් රචනා විශාල සංඛ්‍යාවක් ලියා ඇති ඔහු නවකතාකරුවෙකුද වන්නේ ය..ඒ අතරින් The Wrench සහ If Not Now, When? යන නවකතා දෙක ලෝක සම්භාවනාවට පාත්‍රව ඇති අතර ඉංග්‍රීසි ප්‍රංශ සහ ස්පාඤ්ඤ සහ ජර්මානු ආදී භාෂා විශාල සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇත...
දෙවන ලෝක යුද්ධය තුල ඉතාලියේ මුසොලිනිගේ ෆැසිස්ට්වාදී ආණඩුව හිට්ලර් ගේ නට්සිවාදී ජර්මනිය සමග සන්ධානගතව ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍ර පාර්ශ්වයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය...ඒ වන විට ඉතා සාර්ථක අන්දමින් ජර්මනියේ ක්‍රියාවට නංවා තිබු යුදෙව් - විරෝධී මර්දනකාරී සහ ජාතිවාදී අණපනත් සහ යුදෙව් දඩයම ඉන් පසු ඉතාලියේ ද ක්‍රියාත්මක වන්නට විය....

ජර්මානු ආක්‍රමණයන්ට එරෙහි රහසිගත විරෝධතා සටන් ව්‍යාපාර මේ කාලයේ යුරෝපය පුරා ගොඩනැගී තිබුණි...රටවල් වශයෙන් යුධයට සම්භන්දව සිටි ප්‍රතිපාර්ශවයේ බලවතුන්ට අමතරව මෙවැනි රහසිගත විරෝධතා ව්‍යාපාර හිට්ලර් ට මහත් හිසරදයක් විය...හිට්ලර් සමග සන්ධානන ගත වීමෙන් පසුව ඉතාලියත් ඒ අභියෝගයට මුහුණදුනි..ප්‍රීමෝ ලෙවි ඇතුළු පිරිසක් තමන්ගේ ප්‍රදේශයේ " විරෝධතා ව්‍යාපාරයක් " ගොඩ නගා ගැනීමට උතුසුක වුහ...වාමාංශික දේශපාලන පන්නරයක් නොතිබුණු මේ පිරිස ඉතා කෙටි කලකින් මුසොලිනිගේ ෆැසිස්ට් හමුදාවන්ට කොටු වුණි...අත්අඩංගුවට පත්වීමෙන් පසු ප්‍රීමෝ ලෙවි ව, ෆොසෝලි පෙදෙසේ පිහිටි රැදවුම් කදවුරකට යවන ලදී...
මේ කදවුරේ සිටින යුදෙව්ජාතියට අයත් සියලු දෙනාව වෙනත් නොදන්නා ගමනාන්තයකට පසුව දා රැගෙන යන බව 1944 පෙබරවාරි 21 වැනිදා නිවේදනය කෙරුණි...සති දෙකක ගමනක් සදහා සුදානම් වන්නැයි නිලධාරීන් රැදෙවියන්ට දැනුම් දුනි... ඒ අනුව පෙබරවාරි 22 වැනිදා උදේ බඩු කොච්චි පෙට්ටි 12 කින් සමන්විත දුම්රියකට " කෑලි " 650 ක් පැටවුනි...මේ " කෑලි " ගෙන යාමට නියමිත වුණේ ඒ වන විට ලෝකයාගෙන් වහන් ව දිනපතා සිය දහස් ගණනින් යුදෙව්වන්ව - ගැහැණුන්ව මහල්ලන්ව සහ ළමුන් ද ඇතුළුව ගෑස් කාමර වලට දමා ඝාතනය කෙරිමින් තිබුණු පෝලන්තයේ පිහිටි අවුෂ්විට්ස් ඝාතක කදවුරටයි...

අවුෂ්විට්ස් ඝාතක කදවුරු සංකීර්ණයට ළගා වීමෙන් පසු , ළමුන් , මහල්ලන් සහ බොහෝ කාන්තාවන් "රාත්‍රිය තුලට ගිල ගැනුණි ".පිරිමින් 96 දෙනෙක් සහ ගැහැනුන් 29 දෙනෙක් මුල කදවුරේ අතුරු ශාඛා දෙකක් වූ " මොනොවිටිස් බුනා " සහ " බිර්කෙනෝ " කදවුරුවලට ඇතුළත් කෙරුණි..ඉතිරි සියල්ලන් කෙළින්ම ගියේ ගෑස් මැදිරියට ය...
එදා මේ කදවුරු දෙකට ඇතුලත් කර ගත් එකී 125 දෙනාගෙන් ආපසු ඉතාලියට ආවේ 3 දෙනෙක් පමණි...ප්‍රීමෝ ලෙවි එයින් එක් අයෙකි..විනාශයෙන් ගැලවුණු මේ අල්ප ප්‍රතිශතයට තමන් ඇතුලත් වීම පිළිබදව මුළු ජීවිත කාලය තිස්සේම ඔහු තුල එක් ප්‍රහෙලිකාවක් හොල්මන් කළේය...මරණය දක්වාමත් එය විසදා ගැනීමට ඔහුට හැකි විණි දැයි සැක සහිතය...67 වියේ දී සිදුවූ ප්‍රීමෝ ලෙවි ගේ මරණය අනතුරක්ද නැත්නම් සියදිවි නසා ගැනීමක්ද යන ප්‍රශ්නය තවමත් ගැටලුකාරිය..1987 අප්‍රියෙල් 11 වැනිදා උදේ 10.00 ට පමණ ගොඩනැගිල්ලේ මුරකාරිය එදා දවසේ ලියුම් තුන් වැනි තට්ටුවේ විසු ප්‍රීමෝ ලෙවිට ගෙන ගොස් දුන්නාය...ඊට විනාඩි පහළවකට පමණ පසු ඔහුගේ සිරුර සර්පිලාකාර පඩි පෙළ මැද්දෙන් බිමට වැටෙනු ඈට ඇසුණි...රෝහලකට ගෙන යාමටත් පෙරම ඔහු ජීවිතක්ෂයට පත්වී සිටියේය...

සදාචාරමය සවි බලයෙන් සහ බුද්ධිමය තැම්පත් බවින් 21 වන සියවසේ යෝධ පුරුෂයෙකු වූ ප්‍රීමෝ ලෙවී ,එදා මිහිමත ඉදි වුණු ජර්මාණු නරකාදිය ගැන එලැබි සිහියෙන් යුතුව ආවර්ජනය කළේය..ඉතිහාසය තුල මිනිස් වර්ගයා මුහුණ දුන් අති දුෂ්ට ඒ ව්‍යසනය ඔහු මේ කෘතිය තුළ ලෝකයා හමුවට ගෙන එන්නේ එක පරමාර්ථයක් පෙරදැරිවය..එනම් නැවත එවැනි විනාශයක් ඇති නොවීමට වගබලා ගැනීම " මිනිසා" යන නාමය දරන සෑම ජීවියෙකුගේම මිනිස් වගකීමක් බව ලෝකයාට හඩනගා කීමටයි...
If This Is a Man - Primo Levi
මේ මිනිසෙකු නම්
පරිවර්තනය - ගාමිණී වියන්ගොඩ 



0 comments:

Post a Comment