එමා බොවාරි

Author: Asith /

මිනිසුන්ගේ සිත්සතන් තුළ පෙරළියක් ඇති කළ අපුරු බලයක් උසස් කලා නිර්මාණයක් තුළ ගැබ් වී ඇත....උසස් නවකතාවක් කියවා ලබන රසය හා අත්දැකීම් මුළු ජීවිතයටම අමතක නොවන ලෙස අපේ හදවත් තුළ තැම්පත් වෙයි....ලෝක සාහිත්‍යයෙහි අති විශේෂ තැනක් හිමිකරගත් මැඩම් බොවාරි ( Madame Bovary ) එවන් උසස් කලා නිර්මාණයකි.....ප්‍රංශ සාහිත්‍යයේ ශේෂ්ඨතම නවකතා 5 අතුරින් එකක් ලෙස ද සැලකෙන මෙමෙ කෘතිය ප්‍රංශ මහා නවකතාකරු ගුස්ටාව් ප්ලෝබෙයාර් ( Gustave Flaubert ) විසින් 1856 දී රචනා කරන ලද්දක්....ගුස්ටාව් ප්ලෝබෙයාර්ගේ " මදාම් බොවාරි " සිංහල භාෂාවට පරිවර්තනය වන්නේ " එමා බොවාරි "නමිනි....ඒ ඡේෂ්ඨ අසහාය පරිවර්ථක සිරිල් සී. පෙරේරා මැතිතුමා අතිනි...

කවුරුද මේ " එමා බොවාරි " ? - - - ප්‍රංශයේ ඈත පිටිසර ගමක ධනවත් ගොවි පවුලක උපත ලැබූ " එමා " කුඩා කලදීම මව් සෙනහස අහිමිවූ දැරියක් වුවාය...උස් තාප්පයකින් වටවූ කන්‍යාරාමයක අධ්‍යාපනය ලැබූ ඇය විසින් රහසින් කියවන ලද ප්‍රේමණීය ළාමක නවකතා ආදර අන්දර ඇසුරෙන් උපන් සමනළ සිහින වලින් ඇගේ මනස පිරී තිබිණ...කන්‍යාරාමයේ අධ්‍යාපනයෙන් පසු පියාට උදව් වීමට ගොවිපළ වෙත පැමිණියත් ඇය මනසින් ජීවත් වූයේ පැරිසියේ රාජ්‍ය තාන්ත්‍රිකයන්,රජවරුන් සිටුවරුන් සමගය....වයසින් තමාට වඩා වැඩි වැන්දඹුවක් සමග විවාහ වී සිටි " චාල්ස් බෝවාරි " නම් වෛද්‍යවරයා " එමාට " මුණගැසෙන්නේ තම පියා ඔහුගේ සේවාදායකයෙකු ව සිටින අවදියේය....ඉතා වෙහෙස මහන්සියෙන් වෛද්‍යවරයෙකු වී සිටින චාල්ස් සම්ප්‍රදායික ගැමියෙකි....බිරිද මිය ගිය පසු හුදකලා වෙන චාල්ස් එවකට 17 වන වියේ පසුවූ සුරූපී එමා සමග විවාහ වෙන්නේ ඇයගේ පියාගේ ද ආශීර්වාදය ඇතිවය....වෛද්‍යවරයෙකු සමග විවාහ වීම මහත් උජරුවක් ලෙස සලකු " එමා " තම සැමියා සිය වෘත්තියේ හිණිපෙත්තටම ළගා වේයැයි සිතුවාය...ඒ සදහා සැමියා දිරිමත් කලාය....ඔහුගේ රුචි අරුචි කම් ගැන සොයා බලමින් මහත් වෙහෙසක් ගත් ඇය , සිය සැමියාගෙන් ආදරය ,රැකවරණය හා අවධානය නිතරම බලාපොරොත්තු වූ අතර ඇගේ සැමියා වන චාල්ස් ට අවශ්‍ය වුයේ තම බිරිදට ස්වාමිපුරුෂයෙක් වීමට පමණි....ඔහුගේ ලෝකය බිරිදගේ සායේ වටප්‍රමාණයට සීමා විය....

චමත්කාරයෙන් දිදුළන අනාගතයක් ගැන සිහින මැවූ එමා , තම සැමියාගේ අපුල, උදාසීන ගති පැවතුම් මහත් හිසරදයක් විය....නවකතා මගින් නිරූපිත ඒ සුන්දර ලෝකය සැබෑ ලෝකයේ නොමැති බව වටහා ගත් ' එමා ' මානසික වශයෙන් මහත් පීඩනයකට මුහුණ දුන්නාය....ඇයගේ මේ පීඩනය වියරුවක් බවට පත් වන්නේ සිය රුපශීය සහ බුද්ධිමත් බව ගැන අධිතක්සේරු කරමින් වෙනත් පුරුෂයන් කෙරෙහි ආසක්ත වීමත් සමගය....ඉන්ද්‍රිය සන්තර්පණය තම පරම සැපත කරගත් ඇය පළමුවෙන්ම " ලියොන් " නමැති ලිපිකරුවෙක් සමග ද දෙවනුව ඉඩම් හිමි ධනවතෙකු වූ " රුඩොල්ප් " නමැති සල්ලාලයෙකු සමග ද අනාචාරයේ යෙදුණේ ලොවෙහි කිසිම තැනක දක්නට නොලැබෙන අභව්‍ය පරමාදර්ශයක් ලුහුබැද යමිනි....අවසානයේ දැඩි ණය බරකින් ද මිරිකී සිටි එමා තම ජීවිතය පිළිබද කලකිරී " පාසානම් " විශාල ප්‍රමාණයක් ගිල දමා සියදිවි නසාගත්තාය....පිටු 440 ක් පුරා දිවයන මේ " එමාගේ " ශෝකාන්තය අවසානයේ අප බොහෝ කලක සිට ඇසුරුකළ ජීවත් වීමට ගෙනගිය සටනින් පරාජය ලැබූ අනුකම්පාවට හා ආදරයට බදුන් වූ අකාලයේ මිය ගිය කාන්තාවක භූමදාන කල පසු ඇතිවන සංවේගයට, හිස්කමට සමාන වූ හැගීමක් පහල වෙයි....ඒ ප්ලෝබෙයාර්ගේ යථාර්තවාදී ශෛලියත් සිරිල් සී. පෙරේරා මැතිතුමාගේ දක්ෂ පරිවර්තන හැකියාවත් නිසාය....එමෙන්ම මේම කෘතිය මගින් සාකච්චා කෙරෙන මිනිස් සන්තානයේ මුල් බැස පවත්නා ගැටළු හා උපදේශන වත්මන් සමාජයට ඉතා වැදගත් වේ.
- එමා බොවාරි
- සිරිල් සී පෙරේරා මැතිතුමා 


1 comments:

Unknown said...

Thank u

Post a Comment